මිතුරු පන්හිඳ
කටු ඉපල් අතරින් හමා යන මල් සුවඳ
සිංහල ගී පදවැල්
Monday, July 25, 2016
Wednesday, August 5, 2015
________ නිකිණි මල් සුවඳ ________
චින්තනයෙන්
නොදියුණු
විෂම වූ
සමාජය
මිළ මුදල
නිල බලය
පසුපසම
හඹා යයි
මිනිස්කම්
නොතකමින්
ලෝභ සිත්
දැඩි කරන්
අනෙකාව
යට කරන්
ඉදිරියට
පා තබයි
මිනිසුන්ව
ඉපදිලත්
කෝ කොහිද
බුද්ධියක්
කෙදින කෙලෙසක
හෝ
වැටහේවි
සත්‍යයක් ..
__ AP __
කස පුපුරන හඬ, එළි කැරකෙන හැඩ,ඈතින් දිසි පන්දම්නෙත ඉවසිලි නැත, උස්කර කර -කර,එබී බලන යන්තම්බොදු දද සේසත්, චාමර දී අත්,අසිපත් දැරු ලියකම්නෙත සිත්නොහැරා, ඉන්නෙද කෙලෙසා,දුටුවම මේසිත්තම්....?
තානම් බෙර හඬ, සේම පරදවන,කියනා කවි වන්නම්ලාලිත මතුකර, පාද කිකිණි හඬ,තාල තබන අන්දම්මාලක්කම උඩුගුවනේ, හිඳ නෙක,පානා වැනි කරණම්ඒ දුටු දෙනෙතා, හඬගා කියනා,දුටුද අපේ විස්කම්....??
කැරකෙන එළි මැද, බර අඩි තබ තබ,ඇත් පෙල එන අන්දම්මොනර නැටුමකට, කළගෙඩි නැටුමට,තාලෙ බැඳෙයි වන්නම්ගුවනේ සක්මන්, යනෙන රබන් දුටු,සිත නැවතුන අන්දම්ගරු සරු ඇතිවයි, මුතු කුඩ සෙවණේ,නිළමෙ ඇදෙන අන්දම්.....
එළු පාවඩ මත, දා කරඬුව දැරු,ඇත් රජු වැඩි අන්දම්සාදු සාදු නද, පඬුරු පුදන දන,දෝත් නගා වන්දම්සතුට දෝරෙ යත, සැදැහැතියෙනි සිත,දුටු මේ ලෙස මල්කම්කෙතෙක් දුටත් නෙත, බලා ඉවර නැත,පෙරහැර මේ අන්දම්.....!!!!
__අසන්ති පෙරේරා __
යළිත් යනු බැරි ගියොත් එනු බැරි
අතීතෙක සුවඳක් අරන්
තවම උණුහුම් පෙමක සිතුවම්
මතු කළා කවියක් හොරෙන් ..නුවර අහසට සිතින් ලොබ බැඳ
නමක් නැති බැඳුමක් සොයන්
එදා තනිවුනු නුවර වැස්සේ
අදත් තනිවම තෙමෙමි මං ...ඇහැළ, නුග, රොබරෝස ගස් පෙළ
බිමට නොහෙළා තිබුනොතින්
එදා මතකය දිගේ ඇවිදින්
හෙටත් නුඹ ගැන සොයමි මං ...___ අනූ .. __
හදවතින් ඉපිද දෙනෙතින් වැටී යන
කඳුලක් වුනේ ඇයි ආදරේ
හිමි වුනු ජිවිතේ අහිමිකම් ගොඩක් ලඟ
හිමි නොවු පැතුමක්ද මන් නුඹේ
භවෙන් භවේ පතා ආ හුරු පුරුදු හින්දාද
මන් ලගින් නුඹ මෙහෙම නැවතුනේ
සංසාරෙ පතන්නට තරම් ආදරේ ඇති
නුඹ ඇයි ද මුලින් මට නොලැබුනේ
__අහස්‍යා __
කිරි ටික දොවාන බොන්නට දෙන්නම්කෙත සීසාලා හාලා දෙන්නම්කොළ පාගාලා වී කර දෙන්නම්වී ටික මෝලට ඇදලා දෙන්නම්
පෝයට පන්සල වෙත ගෙනයන්නම්
දූ දරැවන් අකුරට ගෙනයන්නම්
මහතුනෙ ඔබෙ වැඩ හැම කර දෙන්නම්
පොල් ටික වත්තෙන් ඇදලා දෙන්නම්
පෙර කළ පවකට තිරිසන් වී ඉපදී
කරනා වැඩපල නිමවි නැතුවා
මතුදාකදි මා වියපත් වූදා
මගේ සොහොන ඔබෙ කුස නොමවේවා
__ කසුන් නවරත්න _
සලෙළු පෙම
***********
නිරුවත් වූ
නුඹේ
උඩුකය
දුටු විට
කිරි බීපු
තන පුඩු
මතක් විය ...
__ ඉසුරු උදාර __
අවසන් හුස්මයි වා තල ගැටෙන්නෙයන්නම් සදහට නෙතු පියලා
මතකය එක් කර මේ සංසාරේ
රුවන්නම් හද ගුලි කරලා ...
නෙතු අග්ගිස්සෙන් රූරන කදුළක්
කොපුල් මත මුදු හාදු තියා
පතන්නෙ අවසර යන්නට සදහට
මේ නැවතුම්පල අතහැරලා ...
___ ශානු සමරකොන් ___
ඉන්නම් බලා මං පෙරදා වගේ
නාවත් ඔයා අද හිනැහී එදා මෙන්
වෙන්නට සිනා ආයෙ නම් මට කවදා
බැරිවෙයි සිනා මල් නුඹ ළඟ නිසාවෙන්...
නෙතු අගට ගෙන ආව කඳුළැල් හොරෙන්
වියැකෙන්න නම් ආයෙ ලං වෙන්න සෙනෙහෙන්
ගිලිහෙන්න වෙර දරන අපේ පෙම් කතාවට
ඉඩ දී බලා නුඹ ඇයි නිහඬ වී දැන් ......
අත් වැල් බැඳන් අපි පියමැන්න වෙරළේ
පා පොඩි ගියා සේදී ඇඳුණු වැල්ලේ
නුඹ ක්ෂිතිජයේ මම නිල් අහස වාගේ
ලං වෙන්න ඉන්නම් බලා මං එදා වාගේ...
___ නදිල් ____
Sunday, June 21, 2015
__________සිතක වෙහෙස___________
ඒ එක්තරා ලා අදුර ගලන සන්ධ්‍යාවක් විය. තවමත් බැස යන හිරුගේ මලානික සෙවනැලි අහසේ යන්තම් ඉතිරි වී ඇත. මෙහෙණි ආරණ්‍යයේ වැලි මළුවේ සක්මන් කළ මම යාබද ගල් තලාව මත හිද ගතිමි. මෙතෙක් ගෙවූ ජීවිතය තුළ අරමුණු, අපෙක්ෂා, ඉලක්ක පිටුපස එක එල්ලේ හඹා ගිය මට දැන් හති වැටුනු වගක් දැනේ. එබැවින් මම මොහොතක් නැවතී ජීවිතය දෙස ආපසු හැරී බලමි. ඒ මගේ ලාබාලම වියේ පැරණිතම මතකයයි. ඇස් බෝනික්කෙකු මගේ ලොකුම අපේක්ෂාවයි. එයම ඉල්ලමින් හඩමින් අවසානයේ කෙසේ හෝ බෝනික්කා මගේ කරගතිමි. කාලයේ ඇවෑමෙන් මට බෝනික්කා අමතක විය.
ඒ මා අකුරට හුරු වූ කාලයයි. එකල මට අවැසි පොත පතමය. අම්මා කියූ පරිදි “ විභාගේ පාස් වුනොත් ලොකු ඉස්කෝලෙකට ගියෑකි “ ය යන අරමුණ මුදුන් පමුණුවා ගන්නා තුරුම මම ඒ වෙනුවෙන් වෙහෙසුනෙමි, කැපවුනෙමි. අවසානයේ එයින්ද මා ජය ගතිමි. එහෙත් මා ලබා ගත් ජයග්‍රහණය විදිමින් එහි රැදී සිටින්නට ඉඩ නොතබා තවත් ඉලක්ක, අරමුණු, අපේක්ෂා එකින් එක දිගින් දිගට ... සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය සියල්ලට වෙහෙසෙමින් ඒවා දිනා ගනිමින් යළි යළිත් අලුත් අරමුණු වෙනුවෙන් වෙහෙසෙමින් මා ලබා ගත් දේ බොහෝය. එහෙත් තරගය තවම නිමා වී නැත. ඊලගට රැකියා තරගය සදහා පොරට වැටිය යුතු වුවද මට දැන් වෙහෙසය. ලබා ගත් සියළු දේ කර තබාගෙන යන ඒ ගමන මට වෙහෙසය. ඉතින් සියළු දේ බිම තබා මම නැවතුනෙමි.
ඈත කදු හිස් සිප එන මද සුළග සිත සන්සුන් කරවයි. මම දෑස් පියා ගතිමි. මොහොතකට වුව නිරාමිස සුවයට ඉතා සමීප සුවයක් මා විදින වග මට දැනේ .. මට හැගේ .. දැන් මා හිස් අවකාශයේ සරන පුළුං රොදක් සේ සැහැල්ලුය. එහෙත්..... එයින් මිදී යළිදු මා මේ ජීවිතය නම් වූ තරග පිටියට පිවිසිය යුතු නොවේද ... ???
____ දාස් පෙති ____
සිතුවිල්ලේ අරුණැල්ල - සිව් වන දිගහැරුම
තරු දහසක් මැද
තනි වුනු තරුවක
දුක් ගී අසනට
තරු සිය ගණනක
පහස ලබන අර
සඳ එන් නැති බව
කියා දෙන්න
ඒ තනි වුනු තරුවට
රැහෙයි නාදෙ මැද
කළුවර රැය තුල
______ ImaAnthaya …
දකින නොදකින දනන් සැම නෙත්
වසා මිරිගුවෙ කඩතුරාවෙන්
සිනාසෙන මුත් සියල්ලන්
තුටින් සිටිනා ලෙස ඔහුන් ..
ලොව ඉසිඹුලන එක නිමේෂෙක
හඩයි කිරි දරුවන් ලෙසින් ...
සසර දුක දැක උකටලී වුව
නොහැක හැරෙනට
යළි යළී පතමි පැතුමන්
ප්‍රජාපතී මව් මගෙහි යන්නට
සසරෙදී .....
____ Dilani Inoka …
ඈත දිදුලන පුංචි තරුවක්
සේ වුනත් මගෙ ආදරේ
කියාගන්නට නොහැකි වදනින්
හඩයි දෑස් පිය හැම වරේ ..
නිදා නොනිදා ගෙවෙන රැය තුළ
මැවි මැවී නුඹෙ රුව පෙනේ
හදට අවනත නොමැති පැතුමක
සෝ සුසුම් වැල් දිගහැරේ..
සොයා ආවත් යළිදු මා වෙත
නුඹේ ආදරෙ මගෙ කියා
නුඹට නොදැනුනු මගේ සෙනෙහස
නොඑන ගමනින් දුර ගියා...
_______ Shanu Samarakon …
පැහැයක පැහැය
============
ඔය නුඹේ නෙත ගැටෙන-
උදාගිර රත් පැහැය,
රැය පුරා හැඬූ-
ඇගෙ නෙතේ රත යැයි
සැඳෑයම නිළඹරේ
ඉහිරුන දම් පැහැය
නුඹ’තින් තැළුණු-
ඇගේ කොපුලෙ පැහැය යැයි
කුණාටුව ඉසිඹුලන ඇසිල්ලට
ඒ ඇහෙන හෝ හෝව-
ඇගෙ සුසුම් යැයි
ගගන රූරා හැලෙන මහ වැස්ස
ඈ නෙතින් වට කඳුළ යැයි
නොදත් නුඹ,
තෙවැන්නී අත රැගෙන
ඔය ඇවිද යන මාවතේ
තුරු සෙවනැල්ල සේ
ඇගෙ සිත සිසිල් බව
දන්නේම නැත….
_____ නිලිකා ...
හැමදාම පහන් කණුව යට
දහසක් සිතුවිලි
පුංචි හිතේ ගුලිකරගෙන
පිටු අතරට නෙත් යොමන්නෙ
මට ගොඩ යන්න නෙමෙයි
මෙ මුඩුක්කුව ඇතුලෙ
අපාදුක් විදින
බඩට නොකා
මට කවන
මගෙ අම්මට
සුර ලෝකෙ පෙන්නන්න
එත් කරන්ට් එක ගිය දවසට?
_____ ඉසුරු උදාර..
මගේ සතුට ගෙන මටත් හොරෙන් නුඹ
ඉගිල ගිහින් අද සුදු මැණිකේ
වෙල් ඉපනැල්ලේ කරද කැලේ පෙම්
ගීත ගැයූ නුඹ අද කොතැනේ ...
වැව් කණ්ඩිය උඩ දැවටි දැවටි දෙඩු
පෙම් බස් කොතැනද ගොළු වූවේ
අපි පෙම් කළ හැටි මතකෙට එනවිට
හිත වාවන්නෑ මයෙ මැණිකේ ...
_____ සසූ ..
දුවගෙන ඇවිදින්
හිතම තිගස්සලා..
අහසක් තරම්
ආදරෙත් අරන්
තුරුළු උනා
හිත උඩින්ම...
සුන්දරයි අතීතයම
ආයෙමත් එන්න
ඒ ආදරේම අරන්..
තනි උන තැනමයි
තාමත් මම...
_____ සූකිරි ..
ඈත ඉසව්වක පිපුණු
කුමුදු මල නුඹසෙනෙහස් සුවද අරගෙනඇවිදින් මගේ හිත ළගපිපුණු අරුමය ...
සසර පුරුද්දට වගේ
මේ භවයෙත්
මගේම මගේම වෙලා
නුඹ මගේ හිත ළග
නැවතුනු අරුමය ...සත්තයි
ඔයාගෙ සෙනෙහසමගේ ඇස් දෙක තරමටමගොඩාක් පරිස්සමටමම රැකගන්නව ... ඒ මගේ පොරොන්දුවක් ... !
_________හිරු ...
වාසනාවේ සුගන්දී....
===============
වාසනාවට පාර කියන්නට
නුඹේ කටහඩ වෙහෙසුනා
හංදියේ මදටිය හෙවනේ නුඹෙ
මන්දිරේ පොඩි ඉදිවුනා..
විස්සෙ කොලයට පාරෙ යන එන
ඇත්තො ඉද හිට නැවතුනා
නුඹේ දුක් නෙත් බලන්නටනම්
නිතර උන් හට බැරි වුණා..
පුංචි දෝණිගෙ අදත් මැසිවිලි
පංතියේ කොන හිමිවෙලා
අහිමි කරලා ඈට නිසි තැන
සපත්තුව ඉස්සර වෙලා..
දසත හඬගා හිනා මූණෙන්
වාසනාව ගැන මොර දෙනා
නැගණියේ නුඹෙ හිතේ දහදුක්
නිතර මා වෙත වදදෙනා..
#_අනුsh_
මවකගෙ උණුහුමට
පියෙකුගෙ සෙනෙහසට
වරම් අහිමිව
ඉපදුනෙන් මහ මගක ...
ඇති හැකි කෙනෙකුගෙන්
අයැදුවද පිහිටක්
නැත කිසිදු මිනිසත්කමක් ...
නැති බැරි අයම ඇති හැකි පමණින්
පිහිටවේය නිතැතින් ....
____ A.P. _____
Sunday, June 14, 2015
*********** හීන ඉසවුව 2 - "ඇස් " ***********
මීට කලින්
දැකලා නැති අමුත්තෙක්....වීදියේ අහම්බෙන් හමුවෙනවා..අතරමං වෙලා වගෙයි..කාගෙන්වත්
උදව්වක් ඉල්ලන්න බයෙන් වගේ වට පිට බලනවා.
"ඔයාට මුකුත් කරදරයක් ද? කාව හරි හොයනව ද ? මාත් මේ දිහාවෙ..මට පුළුවන් උදව්
කරන්න..."
මම කිව්වා.
"හ්ම්ම්....මට
සතුටුයි..හඳුනගන්න ලැබීම සතුටුක්!"
ඔහු වදන්
ගලපන්න පටන්ගත්තා..
"ඒ වුණත්..,
කාටවත් බෑ මට
උදව් කරන්න.මම අතරමං වෙලා හුඟ කාලෙක ඉඳලා..හැමෝම මාව රැවැට්ටුවා..මට ආදරෙයි
කියලා..
මට ආයෙත්
රැවටෙන්න බෑ"
"මම යන්නම්.."
මම ඔහුට
සමුදුන්නා..
"සුබ ගමන්!"
*******************
අපි නැවත
නැවතත් හමුවුණා..ඒත් අපි කතා කළේ ඇස් වලින් විතරයි..දවසක් ඔහු එන පෙරමඟ උවමනාවෙන්ම
මඟ හැරියා..මම දැක්කා ඒ ඇස් හොයන්නෙ මාව කියලා.
පහුවදා
සුපුරුදු වීදියේ නැවත අපේ ඇස් කතා කළා.
අද ආඩම්බරකම
ගෙදර තියලා ඇවිත්...
"ඔයාට පුළුවන් ද මගේ
ජීවිතයට සෙවණැල්ලක් වෙන්න...මම යන දිහාවෙ මගෙ ළඟින් ඉන්න..මට හරි පාර කියලා දෙන්න..."
පිටු ගණනාවක
කතාවක් ...පේළි දෙකකින් ඉවර කළා.
ඇත්ත
කියන්නම්..මාත් බලාගෙන හිටියේ මේ දවස එනකම්..
මම පොරොන්දු
වුනා..
"ඒත් මට බැහැ
කළුපාට..අඳුරු,හෙවණැල්ලක්
වෙන්න.."
ඔහුගේ ඇස්
මවිතයෙන් විසල් වුනා..
"මම පහන් තරුවක්
වෙන්නම්...ඔයාට පාර කියන...සුළං රැල්ලක් වෙන්නම්..විඩාව නිවන..සිහිල් දිය උල්පතක්
වෙන්නම් ..පිපාසය සන්සිඳුවන...මල් ඇතිරිල්ලක් වෙන්නම්.. ඔයා එන පෙරමඟ.."
හ්ම්ම්ම්.....
නිහැඬියාවක්..
ඉතින් ඊට
පස්සේ......ඒ "ඇස්"....මගේම වුනා........
**********************************
Saturday, June 13, 2015
සිතිවිල්ලේ අරුණැල්ල - තෙවන දිගහැරුම
මතකද අද වගේම දවසක ඔයා
මට ගොඩාක් ආදරෙන් ළංවෙලා ඉද්දි.
මං ඔයාගේ නලල මත තිබ්බ හාදුව..
ඔයා ඒ ආදරය කොච්චර අපූරුවට විඳගත්තද..
එදා.. ඔයා මගේ අතට දුන්නු,
ඒ ලස්සන රෝස පැලේ මං මගෙ ගෙමිදුලෙම ඉන්දුවා..
ඒ පැලෙත් අපේ ආදරේ වගේ ලස්සනට
මල් පිපිලා.. සුවඳයි..
ඒත් ඒ සුවඳ අද වැස්සට හේදිලා ගිහින්..
ඇදහැලුණු ධාරානිපාත වැස්සට
රෝස මලේ පෙති ඔක්කොම කැඩිලා.
මිදුල පුරාවට විසිරිලා..
හිතට දුකක් දැනුනා.. ඒ මල ගැන නෙමේ...
නොසිතූ විදියට අනෝරා වැස්සකට
අසුවෙලා විසිරිලා ගිය අපේ ආදරය ගැන
රෝස පඳුර තවමත් මගෙ හිත බිඳිනවා..
අපේ ආදරේ මතක හිතට අරගෙන ඇවිත්...
ඔයා දුන්නු ආදරය වගේම....
___ කසුන් නවරත්න...
බටහිර අහසේ පායන තරුවක්
බලා හිදී ඇස් පිය නොහෙලා
දැනුනද මේ දුක වැටුනද කදුළක්
මගෙ මේ රතු ඇස් දෙක දැකලා ..
පාළුයි මහදට සීතයි මේ රැය
උණුහුම දුර ඈතකට වෙලා
කියමිද කෙලෙසින් මගෙ මේ හදවත
රිදුම් දෙනව මුළු ගතම වෙලා ..
බෝඩිමෙ සිටියත් යාළුවො ගොන්නක්
මං අද තනියම ගුලි ගැහිලා
මතක් වෙනව මට උන් හැටි තුරුලෙම
අම්මගෙ ඇකයේ දෑස් පියා ..
පාළුයි අම්මේ සීතයි මේ රැය
ඉන්නට ආසයි නුඹ ළගට වෙලා
එන්නද පියඹා මේ රෑ යාමෙම
නිදන්න පෙර සේ තුරුළු වෙලා
__ ශානු සමරකෝන් ..
ආදරණිය නොරිකෝට ලියමි..
නන්නාදුනන දේශයට ගොඩ බැස්ස වෙලේ ඉදන් මං හරිම නොසන්සුන් එත් දවසක් තානායමේදී හම්බුන උඹ ගැන හිතද්දී මේ ජිවිතේට හුරු වෙන්න කියලා හිත කියනවා ඇහුනා .උඹත් එක්ක ගෙවපු හැම මොහොතක්ම මගේ හැම හුස්මකටම කා වැදුනා බන් .උඹයි මායි ලෝක දෙකක .. එත් එක හිතක් වෙන්න තමා දැගලුවේ .උඹත් එක්ක සකේ බිලා හිතේ තිබුන හැම දේම උඹට කියුවේ සිහියෙන් කියන්න බැරි නිසා .කබුකි බලන්න ගිහින් උඹේ සිනිදු අත මගේ අතේ දැවැටෙද්දී හිත හිරි වැටුනා බන් .සකුරා මල් වලට වඩා මට උඹ ලස්සනයි .එත් අපි ගැලපෙන්නේ නැ බන් .අනේ මන්දා අපි වගේ ගොඩක් අය මේ ලෝකේ ඇති. උන්ට කියන්න දෙයක් මටනම් නැ .මගේ වල ගාවට උඹ හැමදාම වරෙන් ඇවිත් මලක් තියපන් . මන් ඒ මල ඉඹින්නම් ඒ උඹට මං තාමත් ආදරේ නිසා ...
මිට
දෙවෙන්දරා
_______________________________________
__ ඉසුරු උදාර ..
ඔයා නිසයි නෙතු පිය සැලුවේ
ඔයා නිසයි හසරැල් නැගුවේ
ඔයා නිසයි හද ගැස්මත් මට දැනුනේ
ඔබේ පෙම නිසයි යළි ජීවය ලැබුවේ ..
මිලාන වූ පෙම් සිහිනෙක සේයා
හදවත නටඹුන් බිමක් කළා
නුඹ ඇවිදින් ආයෙත් හද මඩළට
නටඹුන් බිම පුද බිමක් කළා ..
පුංචි කුරුළු ඇස් දෙකකට නොපෙනෙන
විශ්වයෙ මහ ගිරි ශිඛර මත
දේදුන්නක ඇති පාට සෙමින් ගෙන
කවි පද ගෙතුවෙමි අපේ පෙම ..
__ නෙතුහෂිනි සංජනා ...
හිත රිදුණු තැන් නම් බෝමැයි
මේ වසන්තය මගෙ නොවෙමැයි
නෙත කඳුළ වාවා හිඳිමැයි
මට මලක් වනු නම් බැරිවෙයි.....
සෙනෙහසේ සිසිලක් නොවෙමැයි
ගිණි වැදුණු කතරක හිඳිමැයි
රැළි සරැළි සෙනෙතට දුරමැයි
මට දොළක් වනු නම් බැරිවෙයි....
අවපසේ අඳුරත් බෝමැයි
ඒ අඳුර වෙත පෙම් බඳිමැයි
මුදු එළිය නොපෙනෙන දුරෙකැයි
මට සඳක් වනු නම් බැරිවෙයි......
__ අසන්ති පෙරේරා ..
ගව් ගණන් දුර රැදුන
ඔය දෙනෙත් මා සොයන
මගේ හිත ළගම හිද
පාරවයි නුඹේ සිත
දුකම විතරක් ඇයි
පෙම් කළත් මගෙ සිතට ..
නුඹට හැකි දැනගන්න
ඔය හිතට පෙම් කළ තරම
මගේ මළගම දාට
වෙන හිතක් නෑ ළං වෙන්න
සත්තමයි ඔයා මිස ..
හුස්ම මගෙ ඔයාමයි
හැමදාම මගේ පණ
දුර අරන් යන්නෙපා
ඈත සගවන්නෙපා
ඔය සෙනෙන් මා ලදිමි
මා නොලද ජීවිතය ..
__ හංසිකා රොසයිරෝ ...
රන් හුයකින් කිසිදාක බැදෙන්නැති
අතැගිලි අපගේ කුමට ඇතී
දෙහදක නලියන පැතුමන් ගුලිකර
කදුළු ගගක පා කරමි මෙසේ
භවයෙන් භවයට පැතුමන් පැතුවත්
මේ භවයේ අපි නොලද සෙනේ
දිවියම හඩවා පැතුමන් ඉහිරැණු
අපට අහිමි පෙම්වතුන් අපී ..
අතැගිලි බැදගෙන දුරකට ගියදා
අපේම වී අපි සිටිය හැටී
ලා නිල් අහසට වළාකුළක් වී
අනන්තයට පා වුනා අපී
හඩවන්නට බැරි නෙතු පිය අද්දර
හැමදා ඉගිබිගි පෑවා අපී
කදුළ ඉතිරි කර දුරක ගියේ නුඹ
ඇයිද කියා පවසන්න ළදේ ..
නුඹවත් අහිමිව ගිය පසු මා හට
මගේ කියන්නට කිසිත් නැතී
නුඹෙ ආදරයම වත්කම් වූ මට
තනිකම පමණක් උරුම වුණී
භවයෙන් භවයට හමුවී වෙන්වෙන
පැතුමන් අපටම උරුම ඇතී
දෛවයෙ විලසින් වෙන්ව ගියත් නුඹ
මගෙ හිත තාමත් නුඹට හිමී ...
___ ඉදුෂ පවන් ෂරින්ද ...
උඹව
යදම්ලා
සිර කෙරුවත්
අයාලේ ගිය
උඹේ හිත
යදම්ලා
හිර කරගන්න
බැරි උනා
මට
-සුකිරි-
Saturday, May 30, 2015
සිතිවිල්ලේ අරුණැල්ල - දෙවන දිගහැරුම
සයුරු රළ පෙළ වෙරළ සිප ගෙන
ඈතට දිව යන හැටි මනරම්
දුරට ගිය රැළි නේන බව දැන
වෙරළ ඉකිබිඳ හඬන තරම්.........
නැවුම් රළ පෙළ විගස ඇවිදින්
වෙරළ මත මුදු හාදු තියන්
මතක සැමරුම් ඉතිරි කර යළි
ඇදෙයි ඈතට හෙමි හෙමින් ...
දැන දැනත් යළි නේන බව රළ
වෙරළ ආදරේ කල තරම්
දන්නවා මුතු පබළු රහසින්
වෙරළ මග බලනා තරම්......
_ශානු සමරකෝන්_
වර්තමාන ප්‍රේමය
පැනක්
කොලයක්
නැද්ද
අහලක
පට්ට
කැල්ලක්
ඉන්නවා
නොම්බරේ
දිගන්න....
..ඉසුරු උදාර...
පාරට බැහැල
ඇවිදන් යනකොට
මෙච්චර දුරක්
ආවද කියල
හිතෙනව වෙලාවකට
ඒත් කොච්චර දුරක්
ආවද දන්නෙත් නෑ
තව කොච්චර දුරක්
යන්න තියනවද
දන්නෙත් නෑ
මගේ ජීවිතේ...
..සුකිරි ..
සඳක් වෙලා පායා එන්න
මගේ ලොවට එලිය අරන්
දොළක් වෙලා ගලා යන්න
මගේ සිතට සිහිල අරන්
මලක් වෙලා පිපි එන්න
මගේ ලොවට සුවඳ අරන්
සදා කල්ම ලඟින් ඉන්න
මගේ සිතට සතුට අරන්.......
__අසංක අත්තනායක__
ආදරේට පාර කියන
ජීවිතේම පාට කරන
හීන ගෙනත් හිත පුරවන
මා රැවටුන ඒ මිරිඟුව..
තාමත් සිත මටත් හොරා
හැල්මේ දුව ගොස් නවතින
මිදුමකින් නෙතු බොඳ වන
ඒ නුඹේ ආදරේ ..
සිතිවිලි හා කඳුළු පුරවන
කඳුළු මගේ තනි රකින
මගෙත් නොවන මගේම වන
ඒ සඳවත ..
ආයෙ ඇවිත් නෙතු තෙමන්න
නුඹට තාම ඇත අවසර
ළඟදීම එන පුන් පෝ දින
අවසන් වෙයි නුඹේ වරම..
--අනුරාධ ප්‍රසාද්--
දිවිනහ ගත් කූඹියෙක්..
කූඹියෙකුට උනත්
තියේවිලු හිතක්..
කූඹියෙකුට උනත්
දැනේවිලු පෙමක්..
කූඹියෙක් උනත්
බිදුණු දාට පෙමක්
හිත රිදෙන හින්දලූ
කහට කෝප්පයටම පැන
දිවි නසා ගන්නේ....
#_අනුsh_
මටත් හිතයි නුඹේ ඇස් ගැන
අහස පුරා කවි ලියන්න
හිරුට තරු සඳුට
ආදර ගීත ගයන්න
ඔබෙයි මගෙයි කතන්දරේ
ලොවට කියන්න..
මට ආසයි නුඹේ හිනාව
සමනල තටුවකට අරන්
සමන් පිච්ච්ච මල් කැකුලක
පෙති සරසන්න
සියුමැලි සුදු මල් පෙති
එකිනෙක පිබිදෙන්න..
මහ රෑ කළුවරේ පිපෙන
හෙන්දිරික්ක මල් ගොමුවක
ආසයි මට ඔය නිල්නෙතු
තුළ කිමිදෙන්න
ඇත්නම් මට ඔය නා දළු
තොල් සිප ගන්න.......
-නෙතුහෂිනි සංජනා-
හදවත පුරාම රූපය තියාන
දුරකට ගියාට ඔබ පෙර දිනෙක
යලි එන දාට මේ සිත ළඟට
අරන් එන්න ඔබ ගෙන ගිය සුවඳ
අපේ ආදරේ සුවඳ..
නෙත් මත තියාන ඔය නෙත් දෙකෙන්ම
මා හට කියූව පෙම් කවිය
මතකය තාම හදවත ළඟම
සිහිවේ ගෙවෙන හැම දිනම
ඔබ වේ කුසුම මා සෙව්ව..
කඳුළුත් එක්ක දුක්බර හීන
මතුවෙන රෑක ඔබ කොහිද..
දැනුනේ නැතිද වෙන්වුනු දාක
හඬනා වගක් මේ නෙත් සඟල
ඔබ නැති නිසා මතු දාක...
චූටි බස්සා..
තෙත බරිත නුවන් අග
සිනා හසකැන් මවා
ගිමන ළඟ සිසිල ගෙන
මද පවනෙ දැවටිලා
නොසිතු මොහොතක නුඹේ
හද විලම කළඹලා
පිපෙමි මම කුසුමක්ව
නැවුම් සුවඳින් වෙලා
-දාස්පෙති-
ස්වේත මීදුම් ගලන උදයේ
ලහිරු කිරණින් පිනි දවන විට
පිනි සේම දිලුනා නුඹේ වත
නුඹ එක්ක බැඳුණා මගේ හිත
සෑම හිමිදිරි උදෑසනකම
නුඹව දැකගනු රිසින් මානෙත
සහස් වර දැවුනා අනේකව
දහස් දුක් දුන්නා
ඈත සමුදුරු සතක් ගියතැන
මා එතැයි නුඹ මග බලනවද
කෝල විලසින් බමන දෙනයන
මා සොයා තවමත් සරනවද
නුඹේ කෙහෙරැලි සමග මත්වී
මදනලත් දඟකම් කරනවද
ක්ෂිතිජ රේඛාවෙන් එහා දුර
මා ගිහින් බව නුඹ දන්නවද..
-අසේල රුක්ෂාන්-
ඔබ එන තුරා
පෙරමග බලා
නෙතු රතු උනා
කඳුලැලි ගලා
ඔබ නැති නිසා
වෙනතක බලා
හිත සිර කලා
සඟවා තබා
ඔබ එයි සිතා
හැඬු නෙතු මෙදා
ඔබ ආ නිසා
දැන් හිනැහිලා
එනමුත් මෙදා
බෑ ලං වෙලා
ගන්නට බෙදා
සෙනෙහස එදා
ඔබ ඇගෙ වෙලා
මා දුර මෙදා
අපි වෙන්වෙලා
හිත් ළඟ තබා..
-දිලානි ඉනෝකා -
ගබ්සාව....
අසා ඇතිමුත් මවක සෙනෙහස සමුදුරට වැඩි යැයි කියා
විඳින්නට පෙර කරපු පින්මද
වීද නොදනිමි මට මෙදා
රැවුම් ගෙරවුම් ලෝකයෙන් එන
ඉවත හරිනට සිත සිතා
මවුනි නුඹ මට හැරී යන්නැයි
පැවසුවේ නොකියම
"පුතා".........!!
දිනෙක සෙනෙහස ලබන මොහොතක වඩින්නැයි ඇරයුම් ලබා
දුන්නෙ නුඹමයි තාම මතකයි
මවුනි නුඹ දෙඩු පෙම් කතා..!!
ඇහිරුවානම් මා වඩින මග
නොවෙයි මේ වැනි දුක් මහා
මගේ අම්මේ වේදනාවන් ඉවසගමි නොකියම කතා...!!
නුඹට ගැරහුම් දිදී පල නැත තවත් සුරතල් වී කුසේ
යා යුතුයි දැන් නොවේ කඳුළක් ගැලූවද රුධිරය ගතේ
තවත් මොහොතින් නතර වනු ඇත ගැහෙන හඬ වුව හදවතේ
ඉතිං අම්මේ අවසරයි මට.....
තවත් මං නුඹෙ
පුතු නොවේ......!!!!!!!
--Asanthi Perera--
නැගෙනා හිරුරැස් සමගින් වෙලිලා ඔබ වෙත දිව එන්නම් ...
ඉඩ ලැබෙනා හැම මොහොතක් පාසා ඔබෙ නම මුමුණන්නම් ..
උපදින හැමදා ඔබේම වන්නට දෙවියන් යදිනෙමි මං ...
අම්මේ ඔබ මතු බුදුවන භවයෙත් මා පොඩි පුතු වෙන්නම් ...
______නුවන්ත ප්‍රභාෂ් ______
හෙට
නින්දක කෙලවර නොව
දවසක ඇරඹුම නොව
පැය විසි හතරක අවසානය නොව
එලඹෙන්නක් ද නොව
එහි පිරී ඇත්තේ................
පෙර දින අප කල කී දෙයෙහි
ප්‍රතිඵල හා අප
මවා ගත් ලෝකය තුල රඟමින්
නිර්මාණය කරන දෑය.
-ඉසුරු- [උදා වී නැත]
Subscribe to:
Posts (Atom)