Sunday, June 21, 2015

__________සිතක වෙහෙස___________


ඒ එක්තරා ලා අදුර ගලන සන්ධ්‍යාවක් විය. තවමත් බැස යන හිරුගේ මලානික සෙවනැලි අහසේ යන්තම් ඉතිරි වී ඇත. මෙහෙණි ආරණ්‍යයේ වැලි මළුවේ සක්මන් කළ මම යාබද ගල් තලාව මත හිද ගතිමි. මෙතෙක් ගෙවූ ජීවිතය තුළ අරමුණු, අපෙක්ෂා, ඉලක්ක පිටුපස එක එල්ලේ හඹා ගිය මට දැන් හති වැටුනු වගක් දැනේ. එබැවින් මම මොහොතක් නැවතී ජීවිතය දෙස ආපසු හැරී බලමි. ඒ මගේ ලාබාලම වියේ පැරණිතම මතකයයි. ඇස් බෝනික්කෙකු මගේ ලොකුම අපේක්ෂාවයි. එයම ඉල්ලමින් හඩමින් අවසානයේ කෙසේ හෝ බෝනික්කා මගේ කරගතිමි. කාලයේ ඇවෑමෙන් මට බෝනික්කා අමතක විය.

ඒ මා අකුරට හුරු වූ කාලයයි. එකල මට අවැසි පොත පතමය. අම්මා කියූ පරිදි “ විභාගේ පාස් වුනොත් ලොකු ඉස්කෝලෙකට ගියෑකි “ ය යන අරමුණ මුදුන් පමුණුවා ගන්නා තුරුම මම ඒ වෙනුවෙන් වෙහෙසුනෙමි, කැපවුනෙමි. අවසානයේ එයින්ද මා ජය ගතිමි. එහෙත් මා ලබා ගත් ජයග්‍රහණය විදිමින් එහි රැදී සිටින්නට ඉඩ නොතබා තවත් ඉලක්ක, අරමුණු, අපේක්ෂා එකින් එක දිගින් දිගට ... සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය සියල්ලට වෙහෙසෙමින් ඒවා දිනා ගනිමින් යළි යළිත් අලුත් අරමුණු වෙනුවෙන් වෙහෙසෙමින් මා ලබා ගත් දේ බොහෝය. එහෙත් තරගය තවම නිමා වී නැත. ඊලගට රැකියා තරගය සදහා පොරට වැටිය යුතු වුවද මට දැන් වෙහෙසය. ලබා ගත් සියළු දේ කර තබාගෙන යන ඒ ගමන මට වෙහෙසය. ඉතින් සියළු දේ බිම තබා මම නැවතුනෙමි.

ඈත කදු හිස් සිප එන මද සුළග සිත සන්සුන් කරවයි. මම දෑස් පියා ගතිමි. මොහොතකට වුව නිරාමිස සුවයට ඉතා සමීප සුවයක් මා විදින වග මට දැනේ .. මට හැගේ .. දැන් මා හිස් අවකාශයේ සරන පුළුං රොදක් සේ සැහැල්ලුය. එහෙත්..... එයින් මිදී යළිදු මා මේ ජීවිතය නම් වූ තරග පිටියට පිවිසිය යුතු නොවේද ... ???

____ දාස් පෙති ____

No comments:

Post a Comment