Sunday, May 17, 2015

කෝඩුකාර මල් සුවඳ...


නුඹ මෙමට බෝ දුරයි
පෙනි පෙනී නෙත් ඉමේ
දුක් දෙවන නිල් අහස වගේමයි ...
මං නුඹට ආදරෙයි
අහිමි බව දැන දැනම සදට පෙම්
කරන කිරි දරුවෙක් වගේමයි ...
අපි අපට බෝ දුරයි
සසර මග බොහෝ වර
අපට අප මගහැරී ඇති තමයි ...

_ Dilani Inoka ..
නුඹ සිහිනයක් වී මගේ සිත අද්දර
දඟකාරකම් කෙරුවත්.....
දවසින් දවස අපි අපිට අහිමි වන බව දැනුනත්
කෙලෙස අත් හරිම්ද....
නුඹ නොදන්නවාට
නුඹ මාගේ ආත්මය වී හමාරය....
නුඹ ගෙන් මං ඈත් වෙන්න හැදුවත්
ඈත් වෙන්න බැරි උනා....
අහස කොච්චර ලොකුද දන්නවද..
අන්න ඒ තරම් මට නුඹව ඕන උනා...
යන්න ඕන උනත්
නුඹ නැතුව කොතන යම්ද මා......
ආදරෙයි ගොඩක්...................
හිතයට කකියන මේ දුක අනේ,
දැනෙනව නම් නුඹට......
දුක මට විතරයි..................
අනාගතයක් නැති අප පෙම ගැන......

_ මනි ..


විනිවිද පෙනෙන
මගේ හදවත් කඩදාසිය මත
පර්මනට් මාකරයකින්
නොමැකෙන ලෙස ලියු
ඔබේ ආදරය
කාලයේ මකන දියරය ඉස
සියුම් ලෙස වෙහෙස ගෙන
මකන්නට ගත් ඒ තැත
නැවතුනේ අවසානයේ
ඉරි මා හදවත....
...පොකුරු.......
ගුරු කුලයට නිතී පා යුග ඔසවන
තවමත් හරිහැටි නොදුටු ඔබේ
නිල්නෙතු දැකගනු නොහැකිව මා සිත
තවමත් ඉකිබිඳ හඬා වැටේ ....
පාලු හදක් මත හීන ගොඩක් මැවූ
අහංකාර මුදු වදන් ඔබේ
කෝල කළත් රෑ තුන්යම මා හා
මදි යි කියා මට නිතර සිතේ .........
විටෙක තියුණු හී පරදන වදනින්
කීරි ගැසෙන මගේ හද මඩලේ
නුඹ ගැන ඉපැදුනු පෙම් සිත මියැදී
නොයාවි උපදින හැම භවයේ ...
____________________
නලින් දිල්රුක්ෂ

බිය......
ඇයට නොහැගුන.....
මටම හැගුන.....
මගේම ආදරය.....
පැවසීමට නොව.....
අහිමි කර ගැනිමට..........
_________________
ලහිරු කරනායක

ඉස්පාසුවක් නැතිව නුඹ දුන්
ආදරේ යළි සිහිකරන්නම්
නෙතේ බොඳවුණු කඳුළු අතරින්
අසරණව නුඹ දෙස බලන්නම්..
රිදවලා නුඹ දුකක් දුන්නත්
නුඹේ සතුටම ගැන හිතන්නම්
සිනහ පමණක් නුඹට තියලා
කඳුළු අරගෙන ඈත වෙන්නම්...
________________
දසුන් ලක්රුවන්  
කවුලුව අතරෙන්
හිරිකඩ අතරෙන්
නුඹව දුටුවෙමි
හරි අපුරුවට
හැර යන ලස්සන
මගේ ආදරය..
____________
ඉසුරු උදාර 
රෑ නිදි නැතිව උබලා ඇති දැඩි කෙරුවා.....
බඩට නොකා උබලගේ බඩකට පිරුවා.....
අකුරු නොදත්තත් උබලට ඉගැන්නුවා.....
දුක් සයුරින් එතෙර කරන්නට වූවා....

උබලත් එක්ක ඉන්නට අපි සිත් පැතුවා....
පැලේ සැපට කල වයසත් ලං වූවා.....
අම්මයි මමයි උබලගෙ තාලෙට නැතුවා...
උබලා අපිව තනි කර යන්නට වූවා....

පුංචි පැලේ අගහිගකම් ගොඩයි පුතේ.....
නමුත් උබලා හරි සතුටින් හිටියා පුතේ.....
අදත් අපිට උබලා මතක් වෙනවා පුතේ......
තනි කෙරුවේ ඇයි මඩමක අපිව පුතේ.....
__________________________
විරාජිනී රසංගිකා පෙරේරා



දරා දුක් කන්දක් තරම් මම
සෙවනැල්ල වී සිටියෙ නුඹ ළඟ
නෑර නුඹ ආව වරදට
යන්න අවසර දෙනෙත් මගහැර ...
නික්ම යමි මම රැගෙන
උණුසුම් ම සුසුම් ස්වරය
සංසාර ස්නේහයේ අනුහසක
තබා සඟවා අපේ අතීතය .........
__ඉෂු හෙටිටීආරාචිචි__


නුඹ නැතුවනුඹ ඉන්න
සිහිනයක්
මවන්නද මං
හැමදාම
නවතින්න
නුඹ එනවනම්

____________
තිරාජ් කසුන්

සිහිනයක් ලෙස පාව විත්
මගෙ හද අද්දරින්
පෑයු සද ඔබයි..
අසන හැම ගීතයේම
දකින හැම සිහිනයේම
මුළු ජිවිතයටම
රැදුණු ඒ රැව ඔබයි..
සසර සැරි සරණා
තුරැම මා පතන්නේත්
ඔබම පමණයි..

____පියුමි නිසංසලා____

ඔබ නොවිඳි සුව විඳි.......
නෑයින් ද මිතුරන්ද
කලකින් නොදුටු හැම
පිරිවරා මම හිඳිමි
මැද සාලේ සුන්දරව.......
මා උපන් උදෑසන
වැළඳගෙන සිඹි ලෙසම
වෙන් වෙලා මට යන්න
සමු දෙන්න බෑ කියා
මගේ මව මගේ මුව
බදා සිප හඬනු ඇත.......
සුදු වැලි අතුල මඟ
ඔබ සෑම සියලු දෙන
ඇදෙනු ඇත මා සමඟ.....
සුන්දර වූ නවාතැන
වෙත මාව හැරලවා
සුදු අරලියා සෙවනේ
මගේ නිවහන තනා
සියලුදෙන සිය නිවෙස්
සොයාගෙන ඇදෙනු ඇත.....
කීම එහෙත් හිතවත
කඳුළුවැල් ඔබේ මුවේ?
දිවි මගට සමුදුන්නේ
අද නොවේ අද නොවේ
ඔබ මාව හැර ඇගේ
තුරුලේ සැනසුණු දිනේ .....
වියෝ ගිනි නිවී ඇත
සීතල වූ මගේ හදේ...
නිහඬ මිනිසුන් හිඳින
සොඳුරු වූ බිම්කඩෙහි
කඳුළු සුසුමන් නොමැත
නිදමි මම ඔවුන'තර
සැනසුමින් නොනිම් වූ......
____________________ 
සිහින සෙනෙහස 

සුදු වෙරළ තීරයේ පිය නගා ගියපු අපි
නුඹේ පපුවට තුරුළුව උන් හැටි
ආදරෙන් නුඹ මට තිලින කල හාදු වැස්ස
අද මට කඳුළු වැස්සක් වී වැටුන අපූරුව... 
__________________
නෙතු මදුෂානි

ගොඩවීම ආරම්භයයි
එහි විවිධ අය සිටී
ඇතැමුන් නාඳුනයි
ඇතැමුන් හඳුනන බව දැනේ
ඒ සසර පුරුදු අයයි
මෙහි දිගු දුරක් යන අය සිටී
ගමනාන්තයට නොයා
බැස යන අයද සිටී
බැසයාම අවසානයයි
බසයකි ...
අපේ ජීවිතය ..
___රුසිරු දුලංජන___ 


අහස කළු කරල
වැහි ලිහිණියොත් පියඹනව
ඉස්සර වගේමයි
කළියෙන්ම තාත්තා වී ටික ගෙට ගන්න දිව්ව.,
තෙමී නොතෙමි වගේ
පුංචි ගෙපැළෙ ඇතුලෙ
යකඩ ඇඳ උඩ ගුලි වෙලා
අම්මගෙ රස කතන්දර අහන
තුරුලට වෙලා ඉන්ඳි
කුසගින්නක් දැනුනෙ නැහැ මට,
සකසුරුවමෙන් දිවිය නම් ගෙවනව මම අද
අම්ම නැති අඩුව පිරිමහගන්න දන්නෙ නැහැ ඒත් මම....
_______________
උපේක්ෂා නවරත්න 

___________වීරයා____________

ගින්දර වගේ තිබුණ අව්වෙ රස්නෙ එකපාරටම වැඩි වුණා.හැරිලා බලන කොට මම දැක්කා ඔයාව. එක පාරටම මම නම් ඔයාව අඳුනා ගත්තා.කාළය කුරුළු වෙස් අරගෙන ඉගිලිලා ගියත්,මගෙ හිත අද්දර නැවතිලා තිබුණ “දඩබ්බර අනාථයා” ගැන මතකය, නැවුම් සුවඳක තිබුණා.

අපේ බස් එකට ගොඩවෙලා හිටිය ‘අයියලා’ ගැන, මං ඒ කාලෙ ඒ තරම් උනන්දුවෙන් බැලුවෙ නෑ.ඒත් ඉඳලා හිටලා කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ඔළු අස්සෙන් ඔයාගෙ ඇස් දෙක මා ළඟ නතර වෙන එක මට අමුත්තක් වුණා. ( හැරිලා බලන්න තරම් ලස්සන ඇස් මට නොතිබුණු බව නම් මම දැනගෙන හිටියා.) ඔයාගෙ ඇස්වල අන්තර්ගතය යටහා ගත හැකි ගැහැණු ඉවක්, ස්වභාව ධර්මය මට තිළිණ කරලා තිබුණා. මං ආයෙත් ඔයා දිහා හැරිලා බැලුවේ ඒකයි.
ඔයාගෙ G.E.L.T. අවසානයේ මාව මුණ ගැහිලා බොහෝම බුද්ධිමත් විදිහට ඔයා ආදරේ ගැන ප්‍රශ්නය මට යොමු කළා. මං දැන ගෙන හිටපු කොල්ලොයි ඔයයි අතර තිබුණ එකම වෙනස, බුද්ධියත් නිහඬබවත් බව මම මැනගෙන තිබුණා. ඒත් යාළුවො අතර ඔයා දඩබ්බරයෙක් බවත් ම‍ට දැණිලා තිබුණා. නපුරු හිතක් කියලා බැලූ බැල්මට කියන්න බැරි වුණත් ඔයා ටිකක් නපුරු කෙනෙක්.ඔය සේරම දැනගෙනයි මම අර ඔයා ඉල්ලපු සදාකාලික බැඳීමට මගෙ ආදරේ දුන්නෙ හරියට මල් වට්ටියක් පූජාසනයක් උඩ තියනවා වගේ භක්තියකින්. අවට ගියාට වැඩ නොකරන කෙල්ලෙක් විදිහට පිළිගැනිලා තිබුණ මටත් වැරදුනා කියලා මගෙ යාළුවා හිනා වුණා. (අර බස් එකේ දි ඔයාට දඩිය දාලා කියලා මම රහස් කිව්ව කෙල්ල-චාපා) කොහොම හරි මම ඔයාට මගේ ආදරය භාර දුන්නා. (වරදවා හිතන්න එපා. මම ගොඩාක් දුර හිතලයි එහෙම කළේ)

ජීවිත කණපිට පෙරලුණ කාලයක් තිබුණා ඔයාට මතක ඇති.අපි මුණ ගැහුණ අන්තිම දවසෙ මගෙන් සමු අරගෙන යද්දි ඔයා කිව්වා සරසවි ශිෂ්ය යෙක් වීම මේ කාලෙ කරුමයක් බව.ඇහුණ පෙණුන දුක්මුසු දේ නිසා මං බය වුණේ ඔයාගෙ ජීවිතේ ගැන. (මොකද ඒ වෙන කොට නොදැණුවත්වම, මගේ ජීවිතෙන් අඩක් ඔයාගෙ ආදරෙන් පිරිලා තිබුණා). බොළඳයි තමයි. මං දන්නෙ නෑනේ ඉතිං ඔයාවගේ නිතර බුද්ධිමත්ව ගැඹුරෙන් අකුරු පෙළ ගස්වන්න.
මං උසස් පෙළට ඉගෙන ගත්තෙ ජීවිතය ගැන රස විඳීම ගැන, සාහිත්යල නිර්මාණ ගැන.( ඔයාට මතකද මංදා මං ඒ කාලෙ උසස් පෙළ සිසුවියක් වෙලා හිටිය බව)

විභාගෙට ලියන්නවත් මට සිහියක් තිබුණෙ නෑ.
ඇයි එහෙම වුණේ?
මගෙ සරසවි කුමාරයා අතුරුදහන් වෙලා!ඔයාගෙන් ලිපියක්වත් ලැබුණෙ නෑ දීර්ඝ කාලයක්.හිතේ තිබුණෙ සරසවි ආවොත් මට ඔයා ගැන හොයා බලන්න හැකියි නේද කියන කල්පනාව. මම විභාගය සමත් වුණත් සරසවි වරම අහිමි වුණා. මේ සේරම අස්සෙ මම ඔයාට මාසෙකට ලිපි හතර පහක් ලිව්වා. සමහර දාට ලිව්වෙ බැනලා. (ඇතැම් ලිපි ලියන කොට කඳුළු වැටිලා බොඳ වුනා අකුරු ටික...) ඉඳ හිට නොහිතුනාමත් නෙවෙයි ඔයාට සරසවියෙදි මට වඩා උගත් රූමත් කුළ කුමරියක් සරසවිය මුණ ගස්වලා ද කියලත්. මට මතකයි ඒ කාලෙ G.E.L.T. අර ලස්සන මුහුණක් දිග කොණඩයක් තිබුණ කුමාරිකාව!

මේ අස්සෙ තමයි මං දවසක් දැක්කෙ නාඳුනන විදිහට ඔරවගෙන අහක බලා ගෙන ගිය බඩු ලොරිය. ඒකෙ පිටිපස්සෙ එල්ලිලා ගිය කළු වෙලා දාඩිය පෙරා ගත්ත ක්ලීනර් කොළුවා ඔයා බව මං දැනගත්ත කියලා ඔයත් දැනගෙන එහෙනම්.ඔව්.... එදා මම ඇඬුවා. සතුටත් දුකත් සංකලනය වුන හැඟීමක් ඒක. එකක්, ඔයාට කිසි දෙයක් අනතුරක් වෙලා නෑ. ඒ ගැන සතුටුයි. දුක: ඔයා දුක් විඳිනවා. ඔයාව එහෙම දැක්කට පස්සෙ මම සමා‍ජෙට ද්වේෂ කරන්න ගත්තා. මං සඳළුතලාවක කුමාරියක් බව ඇත්තයි.ඒත් ඔයාට වචනයක් දුන්නට පස්සෙ මට වැටහෙන්න ගත්තා යස ඉසුරුවලට වඩා වටින්නෙ මනුස්සකම බව.සමාජය ගැන මිනිස්සු ගැන මට කියලා දුන්නෙ ඔයා.අපි ඔක්කොම මිනිස්සු කියන හැඟීම මට දුන්නෙ ඔයා.

ඒත් ඔයා මාව හරි හැටි තේරුම් අරගෙන නෑ.මං ඔයාගෙ ජීවිතේට අනුව හැඩ ගැහෙන්න හැදුවා.(සමහර විට ඒ පරණ ලොරියෙ තිබුණු මලකඩ ගඳ මට දැනිලා, ඔයාගෙ කළු වෙලා ගැට මතු වුණ දෑත දැක්කාම මට ඔයාව එපා වෙයි කියලා ඔයා හිතන්න ඇති). කොහොමත් කොල්ලො ඉස්සර ඉඳලා කෙල්ලක් ළඟ දෙවෙනි වෙන්න කැමති නෑ.මං බෑ කියන්න කළින් බෑ කියල මගෙ ප්ර්ථම ආදරේ මට ආපහු දෙන්න ගිහින් තමයි ඔයාට වැරදුනේ. එදා හංදියෙ තාර පාර ළඟ වැටුන ආදරේ කිළිටි වෙලා තිබුණේ ජීවත් වෙන්න වෙර දරණ ඔයාගෙ දාඩිය සුවඳින්.ඔයා නොසැලකිල්ලෙන් ආපහු ලොරියට නැගිනවා වගේ පෙන්නුවෙ, මගේ හිතේ ඔයා ගැන තියන දයාව ආදරේ අඩු කරගන්න වෙන්න ඇති.මම ඉස්සර නොදුටුව ශ්රේවෂඨ බවක් පෞරුෂයක් ඔයාගෙ ජීවිතේ අස්සක තියෙන බව මට වැටහුනේ එදා. පොළවට වැටුනත් ඔයා සාධාරණව ජීවිතේ ගැට ගහ ගනියි.

මං ඉල්ලුවෙ දීපු ආදරේ නෙමෙයි.ඔයාගෙ ජීවිතේට අනුකූලව හැඩ ගැහෙන්න අවස්ථාවක් විතරයි. එන්න කිව්ව‍ට පුස්තකාලෙට මම නොආවෙ, එතන ඉකිබිඳුමකටවත් අවස්ථාවක් නැති නිසා.මගෙන් ලැබුණ දේවල් කරදරයක් බව අඟවලා, කිසිම තෙතමනයක් නැතුව (අර නපුරු කම ඉස්මතු කරලා) ඔයා මගෙ නොඉඳුල් ආදරේ මා ළඟ බිම දාලා, බයිසිකල් කටුවෙන් ඉගිලිලා ගියා මාව හොඳටෝම අසරණ කරලා. ඇඬුවා මම. ඔයා මාව දාලා ගිය නිසා....මගේ ආදරේ මා පාමුල අත ඇරියට, බිංදුවක්වත් අඩු නැතුව ඔයාගෙ ආදරේ තාමත් තියෙනව පරිස්සමට. මං ඒක කඳුළින් හේදුවෙත් නෑ කාටවත් දුන්නෙත් නෑ ඉල්ලුවට. (නරක ආරංචිවලට අත් තටු තියෙනවා) කඳුලෙන් හෝදන්න කිළිටි වෙලා නෑ ඒ ආදරේ ඔයාගෙ දාඩියවලින් සුවඳ වෙලා මිසක්.

ඔයා මට වීරයෙක්, අවි අත නොදැරුවාට.පවතින වාතාවරණය යටතේ දෙපයින් නැගී සිටිය හැකි වීරයෙක්. උපාධිය හංගගෙන නගරෙ උණුවන තාරපාර උඩින් ඉගිලිලා ගිය ලොරියක හරි ඔයාව දකින්න ලැබීම භාග්යයයක්. පසුව බස් නැවතුමේ දි හමු වුණු වෙලාවෙ, ඔයා මාව අමතක වෙලා බව අඟවන්න වෙර දැරුවා. ඒත් ඔයා යටිහිතෙන් දුක් වුණා නේද මීට දෙවසරකට පෙරාතුව මගේ ආදරේ දමලා ගහලා ගිය හැටි සිහි වෙලා නේද? ඔයාගෙ ඇස් ඒකට සාක්ෂි දැරුවා.....

ඔයා හැමදාම මාව අඬවන කථා කියලා, “ඔන්න ඔයාගෙ ඇස්වල කඳුළු” කියලා කිව්වා.ඒත් මං ඒ කදුළටත් ආදරෙයි.නත්තල් කුණාටුවෙ දූවිල්ල නෑ. (අඬන්න මං තවත් බය නෑ කවුරු දැක්කත්) පොද වැස්සකට පස්සෙ සුවදායක සිහිල් සුළඟක් අරන් ඇවිත් නත්තල් කුණාටුව. ඉඩෝරෙට වේලුන ගහ කොළ හිටිහැටියෙ පිණි පොදින් නෑවිලා. වෙනදා වගේ ම මං තාමත් බස් නැවතුමේ බලං ඉන්නවා. ආයෙමත් අර ගිනි රස්නය දැණෙන තුරු, මේ සීතල කුණාටුව යටපත් කරගෙන කවදාක හරි......
_________________________
*නිලිකා*